මංගල දිනය වෙනුවෙන් ස්වර්ණාභරණ තෝරා ගැනීමට පෙර සැලකිය යුතු කරුණු

වි වාහ උත්සවයකදී ස්වර්ණාභරණ මිලදී ගැනීම ප්‍රධානතම කාර්යභාරයක්. මංගල දිනය සඳහා සුදානම් වන සෑම යුවලක්ම මනමාලයාට මුදුව, මනාලියට මුදුව, චේන්, වළලු සහ බ්‍රේස්ලට් මිලදී ගැනීම කෙරෙහි උනන්දු වෙනවා. ඇත්තටම මේ රන් ආභරණ මිලදී ගැනීම ආවාට ගියාට කළ හැකි දෙයක් නෙවෙයි. එක අතකින් ආයෝජනයක් වෙන මේ තේරීම, තවත් අතකින් ඔබේ මංගල දිනය හැඩ කරන ප්‍රධානතම අංගයක් වෙනවා. ඉතින් අද අපි තීරණය කළා අපේ වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.

 




ස්වර්ණාභරණ වෙනුවෙන් වෙන් කරන මුදල

විවාහයකදී කළ යුතු වියදම් රැසක් තිබෙනවා. ස්වර්ණාභරණ මිලදී ගැනීමට අමතරව, උත්සවශාලා වෙන් කිරීම් සහ ඇඳුම් මිලදී ගැනීම් ඇතුළු කරුණු කිහිපයක් වෙනුවෙන්ම ඔබට මුදල් වෙන් කිරීමට සිදු වෙනවා. ඉතින් ඔබ අතේ ඇති මුදල නිවැරදි විදිහට සියලු අවශ්‍යතා වෙනුවෙන් වෙන් කිරීමට ඔබට සිදු වෙනවා. ඒ නිසා ඔබ ස්වර්ණාභරණ මිලදී ගැනීම සඳහා කොපමණ මුදලක් වෙන් කරනවාද යන්න ගැන මුලින්ම තීරණයකට එළඹෙන්න.

ඔබ කැමති මෝස්තරය

අතීතයට වඩා, වර්තමානයේ පවතින පහසුකම් ගොඩාක් වැඩියි. ඉතින් ඔබට පුළුවන් අන්තර්ජාලය හරහා පවතින රන් ආභරණ මෝස්‌තර ගැන හොයලා බලන්න. රන් ආභරණ වල මොස්තරත් කාලයෙන් කාලයට වෙනස් වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් නූතන විලාසිතා ගැන හොයලා බලන්න. වර්තමානයේ ඇතැම් ස්වර්ණාභරණ ආයතන වලින් ඔබේ සිතේ ඇඳුණු මෝස්තරය ඔබට සකසා දීමේ සේවාව සපයනවා.

ඔබ කැමති මෝස්තරය ගැන හිතනවා වගේම, එය ඔබේ මංගල ඇඳුමට ගැලපෙනවාද යන්න ගැනත් ඔබ අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා රන් ආභරණ මිලට ගැනීමට පෙර ඔබේ මංගල ඇඳුම සකසන ඇඳුම් ශිල්පියාගෙනුත් ඒ ගැන විමසා යම් ඔවදනක් ලබා ගන්න.

මිලදී ගැනීමට යන්නේ කා සමඟද ?

ස්වර්ණාභරණ මිලදී ගැනීමට යෑමේදී ඔබ සමඟ යන පුද්ගලයන් තෝරා ගත යුතුයි. ආරක්ෂාව පිණිස වැඩිහිටියෙකු සමඟ යාම සුදුසු වෙනවා. එමෙන්ම ඔබ ස්වර්ණාභරණ මිලදී ගන්නේ ඔබේ සහකරු වෙනුවෙන් නම් දෙදෙනාම එකතු වී යාම ඉතා වැදගත්. ස්වර්ණාභරණ තේරීමේ හොඳ හැකියාවක් ඇති, පළපුරුද්දක් ඇති අයෙකු සමඟ යාමෙන් වංචාවන්ට හසු නොවී, හොඳම තේරීමක් කිරීමට හැකියාව ලැබෙනවා.

මිලදී ගන්නා ස්ථානය

ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී වංචාවන්ට හසු නොවීමට නම්, ඔබට පිළිගත් ස්වර්ණාභරණ වෙළඳසැලකින්ම රන් ආභරණ මිලදී ගැනීමට සිදු වෙනවා. වර්තමානයේ ස්වර්ණාභරණ වෙළඳසැල් හැමතැනම තිබෙනවා. ඇතැම් වෙළඳසැල් වෙනත් රටවලින් රන් ආභරණ ගෙන්වා අලෙවි කරනවා. නමුත් ඒවායේ ඇති රන් භාණ්ඩ වල ගුණත්වය ගැන සහතිකයක කරන්න බෑ. රත්තරන් ලෝහයට වෙනත් ලෝහ වර්ග මුසු කර තිබෙන්නටත් පුළුවන්. ඒ නිසා පිළිගත් වෙළඳසැලකින් රන් ආභරණ මිලදී ගැනීමට කල්පනාකාරී වන්න. ඒ වගේම තමයි ඔබ මිලදී ගන්නා මුදු, වළලු, මාල ඇතුළු සියලු රන් ආභරණ එකම ස්ථානයකින් මිලදී ගැනීමෙන් ඔබට මිල අඩු කිරීම්, ත්‍යාග ලබා දීම් වැනි වාසි රැසක් අත් කර ගන්නත් පුළුවන්.   

ඔබ මිලදී ගැනීමට සැලසුම් කරන රන් භාණ්ඩ වල ශක්තිමත් බව

රන් ආභරණ මිලදී ගන්නේ විවාහ දිනයේ පාවිච්චිය සඳහා පමණක් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔබ මිල, පෙනුම සහ මෝස්තරය ගැන සලකනවා වගේම රන් ආභාරණයේ ශක්තිමත් බව ගැන අවධානය යොමු කිරීමත් ඉතාමත් වැදගත්. රන් භාණ්ඩ පාස්සා ඇති ස්ථාන හොඳින් පිරික්සන්න. ඒවා කැඩී යන සුළු විය හැකියි. රන් ආභරණ වල මෝස්තරය ඉතා සියුම් වෙන්න පුළුවන්. නමුත් එම මෝස්‌තර කැඩී යන සුළුද කියලා මිලට ගැනීමට පෙර හොඳින් බලන්න.  

මංගල දිනයෙන් පසු ඔබේ ස්වර්ණාභරණ වලට අත් වන ඉරණම කුමක්ද ?

බොහෝ දෙනෙක් තම විවාහ මංගල උත්සවයෙන් පසු මුදුව පැළඳගෙන සිටියත් තම මාල, කරාබු සහ වළලු බැංකුවේ තැම්පත් කරනවා. එයට හේතුව වන්නේ එම ආභරණ සාමාන්‍ය ගමනකට ඇඳගෙන යාමට නොහැකි තරම් විශාල වීමයි. ඔබ ඔබේ රන් ආභරණ මිලදී ගැනීමට පෙර ඒ ගැනත් සිතීම වැදගත් වෙනවා. අති විශාල මෝස්‌තර සහිත ආභරණ කෙරෙහිම සිත යොමු නොකර සරල සුන්දර මෝස්‌තර ගැනත් සලකා බලන්න.

උදා : චේන් එක සහ පෙන්ඩන්ට් එක වෙන වෙනම සාදා ගැනීමට ඔබට පුළුවන්. එවිට ඔබට පසු කාලීනව පෙන්ඩන්ට් එක නොමැතිව චේන් එක සාමාන්‍ය ගමනකට භාවිතා කරන්න පුළුවන්.  

SHARE