කෙස් කළඹ රැක ගන්න වෙනස් විදිහක ටිප්ස් කීපයක්

කෙ ස් කළඹ රැක ගැනීම වෙනුවෙන් ඔබ මොන තරම් දේවල් කරනවාද? කෙස් කළඹ රැක ගැනීම වෙනුවෙන් සත්කාර කරලා විතරක්ම මදි. එදිනෙදා ඔබ කෙස් කළඹ එක්ක ගනුදෙනු කරන විදිහ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ. කෙස් කළඹේ සුන්දරත්වය රැක ගන්නට නම්, ඔබ එයට ආදරය කල යුතුයි. අපි මිට පෙරත් මේ ගැන ඔබව දැනුවත් කර තිබෙනවා. ඉතින් අද අපි තීරණය කළා වෙනස් විදිහක ටිප්ස් කීපයක් ඔබ වෙත ගෙන එන්න.




1 ආහාර රටාව ගැන සැලකිලිමත් වෙන්න

ඔබට ලස්සන කෙස් කළඹක් හිමි කර ගන්න අවශ්‍ය නම් සීනි සහ මේදය සපිරුණු ආහාර එකතු කිරීම අඩු කරන්න වෙනවා. ඔබේ හිස් කබලේ ඇති මේද ග්‍රන්ථි වලින් ස්වාභාවිකවම මේදය නිෂ්පාදනය කරන බව ඔබ මේ වෙනවිටත් දන්නවා ඇති. සීනි සහ මේදය අධික ආහාර මඟින් මේ ක්‍රියාවලියට හානි සිදු කරනවා. මේ නිසා ඔබේ ආහාරයට හැකි තරම් පලතුරු, ධාන්‍ය, මස් වර්ග, මේද අඩු කිරි ආහාර සහ ඇට වර්ග එකතු කර ගන්න.

2 කෙස් වලට හානි කරන විලාසිතා දැමීම අඩු කරන්න

ඔබ පළඳින කොණ්ඩ කටු, කොණ්ඩ බූල් වලින් පවා හිස කෙස් වලට හානි විය හැකි නිසා ඒවා ගැන සැලකිලිමත් වන්න. එවැනි දෑ මිලදී ගැනීමට පෙර ඒවා කොණ්ඩයේ පැටලෙන සුළුද යන්න ගැන සිතන්න. නිතරම හිස කෙස් වලට සුවපහසු විලාසිතා වර්ගම තෝරා ගන්න.

3 ස්නානය කිරීමේදී ජලයේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වෙන්න

ඔබේ හිස කෙස් සේදීමේදී උණු ජලය භාවිතා කිරීමෙන් හැකි තරම් වලකින්න. සීතල ජලය හෝ ලා රස්නයක් ඇති ජලය නිතරම භාවිතා කරන්න. දැඩි රස්නය ඔබේ හිස කෙස් වලට හානි කරනවා. හිස් කබලේ ස්වභාවික මේදය නිපදවීම අඩාල කරනවා.

4 නිදා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම හිස කෙස් පීරන්න

නින්දේදී හිස කෙස් අවුල් නොවී තබා ගන්නට නම්, නින්දට පෙර හිස කෙස් පීරා ගැනීම ඉතා වැදගත්. නින්දේදී හිස කෙස් බුරුල්ව ගොතා ගන්න උත්සාහ කරන්න. අවුල් වූ හිස කෙස් පිටින් නින්දට යෑමෙන් ඔබේ හිස කෙස් තව තවත් අවුල් වෙනවා. පසු දින උදෑසන කෙස් පිරීමේදී හිස කෙස් විශාල ප්‍රමාණයක් ගිලිහි යන්නට එය හෙතුවක්න් වෙනවා.

5 හිස කෙස් බෙදන පැත්ත මාරු කරන්න

ඔබ හිස කෙස් බෙදා විලාසිතා කරන අයෙක් නම්, සෑම දිනකම එකම ස්ථානයෙන් බෙදන්නට යන්න එපා. හැමදාම එකම ස්ථානයකින් හිස කෙස් පීරිමේදී එම ඉර ස්ථිර වෙනවා. එහි හිස කෙස් වැවීම අඩාල වෙනවා. එම නිසා වරින් වර බෙදන ස්ථානය මාරු කිරීමෙන් මේ තත්වය වලකා ගන්න පුළුවන්.

6 හිස කෙස් තද කර බැඳීම අඩු කරන්න

සමහර යුවතියන් හිස කෙස් උඩට කර තදට ගැට ගසනවා. එයින් ඔබේ හිස කෙස් ඇදීමකට ලක් වෙනවා. නළලින් ඉහලට හිස කෙස් නිරන්තරයෙන් ඇදී පවතින විට, නළල පැදීම වැඩි වෙනවා. ඔබට නොදැනීම නළලේ ඇති හිස කෙස් වැටී ගොස්, නළල පෑදෙනවා. මෙය ඔබට එකවර දැක ගන්න ලැබෙන්නේ නැහැ. මෙය සිදු වන්නේ කාලයත් සමඟ සෙමිනුයි. මේ නිසා නිතරම හිස කෙස් වලට මෘදු විලාසිතා දමන්න.

7 ඔබේ පනා සතියකට වරක් සෝදන්න

ඔබේ හිස කෙස් සමඟ සමීපවම ගනුදෙනු කරන්නේ ඔබේ පනාවයි. පනාවේ දැති අතර කුණු එක් රැස් වෙනවා. බොහෝ විට මේ ඔබේ හිස් කබලේම ඇති මැරුණු සෛලයි. මැරුණු සෛල මත ඉතා ඉක්මනින් බැක්ටීරියා වර්ධනය වෙනවා. ඔබ එම මල සෛල සහ බැක්ටීරියා සහිත පනාවලින් නැවත කෙස් පීරන විට එය ඔබේ හිස කෙස් වලට අහිතකර ලෙස බලපානවා.   

SHARE