කෙස් කළඹේ සෞඛ්‍ය පසුබිම

කෙ නෙකුගේ සුන්දරත්වය සහ පෙනුම ආරක්ෂා කර ගැනීමට නිරෝගී කෙස් පිහිටා තිබීම උපකාරී වෙනවා. තමාට නිරෝගී කෙස් කළඹක් හිමි කර ගැනීමට බොහෝ දෙනෙක් වෙහෙසෙන්නේ මේ කියන කාරණය නිසාම වෙන්න ඇති. කෙස් කළඹේ සුන්දරත්වය ගැන වෙහෙසෙන ඔබට අද අපි කෙස් ගැන කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට තීරණය කළා.




හිස කෙස් වල ව්‍යූහය

හිස කෙස් වල තන්තුමය ප්‍රෝටීන් වර්ගයක් වන කෙරටින් අඩංගු වෙනවා. ඔබේ හිසේ ඇති සෑම කෙස් ගසක්ම රෝපණය වන්නේ හිස් කබලේ ඇති කූප තුළිනුයි. ඒ සෑම කූපයක් අභ්‍යන්තරයේම, රුධිරය බහුල ලෙස සැපයෙන පිටිකාවක්  පිහිටා තිබෙනවා. මෙම පිටිකාව හරහා කෙස් ගසෙහි සෛල ක්‍රම ක්‍රමයෙන් නිපදවෙමින්, කූපයෙන් ඉහළට නැඟෙන අතර එය, කෙස් ගසක් ලෙසින් ඝනව පිටතට වැවෙනවා.

 

හිස කෙස් පැසීම

කෙස් ගසෙහි අභ්‍යන්තර ස්තරයේ කෙස් ගසටම ආවේණික වර්ණකයක් අඩංගුයි. එයින් කෙරෙන්නේ කෙස් ගසට වෙනම ආවේනික වූ  වර්ණය ලබා දීමයි. කෙස් ගස පැසෙන්නට පටන් ගන්නේ (සුදු පැහැ වන්නේ) මේ වර්ණක සෛල මියයන විටයි. කෙස් ගස තුල ඇති වර්ණක සෛලය මිය යාම කියන්නේ වයස්ගත වීමත් සමඟ අප හැම දෙනා තුලම සිදු වන ක්‍රියාවක්. කෙසේ වෙතත් අකලට කෙස් පැසීම සිදු වන්නේ නම් එය මේ ස්වභාවික ක්‍රියාවලියට අයිති වන්නක් නොවේ. එසේ විය හැක්කේ ජානමය හේතු, පරම්පරා ගත ලක්ෂණ සහ රෝගී තත්වයන් නිසායි. හිස කෙස් පැසීමට දිගු කාලයක් ගත වෙනවා. කෙස් ගස් වර්ණ ගන්වන මේ වර්ණක තැන්පත් වී තිබෙන්නේ හිස් කබලේ යටි තලයෙයි. ඒ වර්ණකය මිය ගොස්, සුදු හිසකේ වැඩීමට සහ හිසෙන් මතුවීමට යම් කාලයක් ගත වෙනවා.

 

කෙස් ගැළවී යෑමට හේතු

සාමාන්‍යයෙන්, සෑම පුද්ගලයෙකුගේම දිනකට කෙස් ගස් 50 සිට 80 දක්වා ප්‍රමාණයක් වැටී යනවා. හිස කෙස් ගිලිහීම කියන්නේ ස්වභාවික සිදුවීමක්. නමුත් පරම්පරාගත ලක්ෂණ, හෝමෝන අසමබරතා වැනි හේතු නිසා හිස කෙස් අකලට වැටි යා හැකියි. අසාමාන්‍ය ලෙස, අකලට කෙස් ගැළවී යෑමේ රෝගය “ඇලොපීසියාව” යනුවෙන් හඳුන්වයි.

 

හිස කෙස් වල පෙනුම සහ ඔබේ සෞඛ්‍යය

හිස්කබලේ යටි තලයේ ඇති රුධිරය තමයි ඔබේ හිස කෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙන්නේ. කෙස් වල ජීවි පෙනුම රැක දීමට එය සමත් වෙනවා. එම නිසා නිරෝගී සහ ජීවී පෙනුමක් සහිත කෙස් කළඹක් හිමි වීමෙන්  අදහස් කෙරෙන්නේ ඔබේ හිස් කබලට මනා පෝෂණයක් ලැබෙන බවත්, හිස් කබලේ රුධිර සංසරණ වේගය ප්‍රාණවත් වන බවත්ය.

යමෙකුගේ රෝගී තත්වයන් සහ දුර්වල සෞඛ්‍ය මට්ටම ඔහුගේ/ ඇයගේ කෙස් වල ස්වභාවයෙන් හඳුනා ගත හැකියි. ආහාර නිසි ලෙස ලබා නොගන්නා, ආහාර වලින් නිසි පෝෂණයක් ලබා නොගන්නා අයෙකුගේ හිස කෙස් වල ජීවි පෙනුමක් ඇත්තේ නැහැ. රුධිර සංසරණය මඟින් ඔවුන්ගේ හිස කෙස් වලට අවශ්‍ය නිසි පෝෂණය නොලැබෙන බව දුටු විගසින් හඳුනා ගන්න පුළුවන්. මත්පැන් බහුලව පානය කරන අයෙකුගේ කෙස් වලටත් නිසි පෝෂණය ලැබෙන්නේ නැහැ. එවැනි කෙස් අජීවී පෙනුමකින් යුක්ත වන අතර, දුර්වලය. ඉකමනින් ගැලවී යන හා කැඩී යන සුළුය. ඇතැම් විට දුර්වල හිස කෙස් පසු පස පෝෂණ ඌණතා මෙන්ම, වෙනත් රෝගී තත්වයන් වුවද සැඟවී තිබිය හැක.

 

හිස කෙස් වලට ෂැම්පු ගැල්වීම බලපාන ආකාරය

ෂැම්පු භාවිතා කිරීමේ මුලික අරමුණ වන්නේ අපිරිසිඳු හිස කෙස් පවිත්‍ර කර ගැනීමයි. කෙසේ වෙතත් ෂැම්පු භාවිතා කිරීම සීමාව ඉක්මවා කිරීමෙන් හෝ නොකිරීමෙන් කෙස් ගස් වලට හානි සිදු වෙනවා. හිස් කබල නිසි ලෙස පිරිසිඳු නොකර සිටින අවස්ථාවකදී හිස් කබල මත එක් රැස් වෙන අපද්‍රව්‍ය සහ තෙල් නිසා කේශකූප වෙතට දිවෙන මේද නාලිකා වැසී යා හැකියි. එමෙන්ම ඉස්සොරිත් ඇති වෙනවා. මේ නිසා නිසි පරිදි ෂැම්පු යොදා හිස කෙස් සහ හිස් කබල පිරිසිඳු කිරීම වැදගත්.

ඒ වගේම තමයි, සීමාව ඉක්මවා ෂැම්පු යොදා හිස පිරිසිඳු කිරීමට පෙළඹීමෙන් හිස් කබල මත ඇති බැක්ටීරියාවන් විනාශ කිරීමට උපකාරී වන ස්වාභාවික මේද වර්ග නැති වී යනවා.

මේ සම්බන්ධව විශේෂඥයන් වැඩිදෙනෙක් නිර්දේශ කර ඇත්තේ හිස කෙස් සහ හිස් කබල අපිරිසිඳු වන අවස්ථා වලදී ෂැම්පු යොදා පිරිසිඳු කරන්න යනුවෙනුයි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

SHARE