හිසකෙස් පිළිබඳ තොරතුරු බිඳක්

හි ස කෙස් වලට සත්කාර කිරීමට අමතරව ඔබ හිස කෙස් ගැන දන්නේ මොනවාද? ඔබේ රුව ඔප් නැංවීමට උපකාරී වන ඔබේ මේ කෙස් කළඹ ගැන වැදගත් තොරතුරු කීපයක් දැන ගන්න ඔබ ගොඩාක් කැමති ඇති. ඉතින් අද අපි තීරණය කළා හිස කෙස් ගැන ඔබ නොදත් තොරතුරු රැසක් ඔබ වෙත ගෙන එන්නට.




කෙස් වැවෙන රෝම චක්‍රය

ඔබේ හිස කෙස් වැවෙන්නේ චක්‍රයකට අනුව බව ඔබ දන්නවාද? මෙම චක්‍රය කොටස් තුනකින් සමන්විත වෙනවා. වර්ධන කාලපරිච්ඡේදය, සංක්‍රමණ කාලපරිච්ඡේදය හා විවේකී කාලපරිච්ඡේදය මේ කොටස් තුනයි. වර්ධන කාලපරිච්ඡේදයේදී කෙස් ගස වැවෙන අතර, විවේකී කාලපරිච්ඡේදයේදී කෙස් ගස වැවීම නතර වි, විවේක ගැනීම සිදු කරයි. රෝම කුපය තුල නොවැවී තිබෙන කෙස් ගස, නව වර්ධන කාලපරිච්ඡේදය ආරම්භ වීමේදී හැලි යයි. ඉන්පසු නව කෙස් ගසක් වැවීම ආරම්භ වේ. ඔබේ සමස්ත කෙස් කළඹෙන් 85%- 90% අතර ප්‍රමාණයක් පසු වන්නේ වර්ධන කාලපරිච්ඡේදය තුලයි. සමස්ත කෙස් කළඹෙන් 10%- 15% අතර ප්‍රමාණයක් පසු වන්නේ  විවේකී කාලපරිච්ඡේදය තුලයි. 1%ක ප්‍රමාණයක් සංක්‍රමණ කාලපරිච්ඡේදය තුල පසු වෙනවා.

එක් එක් අයගේ හිස කෙස් වල වර්ණය වෙනස් වන හේතුව

යම් පුද්ගලයෙකුගේ හිස කෙස් වල වර්ණය තීරණය වන්නේ මෙලනින්වල ප්‍රමාණය හා ව්‍යාප්තිය අනුවයි. මෙලනින් කියන්නේ කලු පැහැයට හුරු දුඹුරු වර්ණකයක් වන අතර, මෙයින් තීරණය කෙරෙන්නේ හිස කෙස් වල වර්ණය පමණක් නොවේ. මිනිසාගේ සමේ වර්ණය තීරණය වන්නේත් මෙලනින් වර්ණකයේ ප්‍රමාණය සහ ව්‍යාප්තිය අනුවයි. අඩංගු මෙලනින් වර්ණක ප්‍රමාණය වැඩි නම්, හිස කෙස් වල වර්ණය සාපේක්ෂව තද පැහැයක් ගන්නවා. අඩංගු මෙලනින් වර්ණක ප්‍රමාණය අඩු නම්, හිස කෙස් වල වර්ණය සාපේක්ෂව අඩුපැහැයක් ගන්නවා. අඩංගු මෙලනින් ප්‍රමාණය සහ ව්‍යාප්තිය අනුව හිසකෙස් වල පැහැය කලු, දුඹුරු, රතු හෝ රන්වන් ලෙස තීරණය වෙනවා. මෙලනින් අඩංගු නොමැති අයගේ හිස කෙස් දිදුලන සුදු පැහැයකින් යුක්ත වෙනවා. වැවෙන හිස කෙස් වර්ණක සෛල මගින් නිෂ්පාදනය කෙරෙන මෙලනින් අවශෝෂණය කරනවා.

කෙස් ගසේ සජීවී කොටස

කෙස් ගස් සෑදී තිබෙන්නේ මැරුණු සෛල වලින්. ඔබ මෙතරම් ආදරය කරන, සාත්තු කරන කෙස් අජීවී බව පිලි ගන්නට ඔබ කැමතිද? කෙස් ගසේ සජීවී කොටස පිහිටා ඇත්තේ හිස් කබලෙන් යටට ගිලි ඇති කොටස ප්‍රමාණය පමණයි. සමට මතුපිටින් පිහිටා ඇති කෙස් අජිවිය. කෙස් ගසේ සජීවී කොටස බල්බයක් වැනිය. කෙස් ගස වැවීමේ ක්‍රියාවලිය සිදු වන්නේ ඒ තුලය. එය තුල සිදු වන වේගවත් සෛල විභේදනය හේතුවෙන් කෙස් වර්ධනය වීම සිදු වේ.

හිස කෙස් පැසීම

හිස කෙස් පැසීම සිදු වන්නේ  වර්ණක සෛල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර කල විටයි.  වර්ණක සෛල මගින් මෙලනින් නිෂ්පාදනය කිරීම නතර කරන්නේ ඇයි දැයි නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ. එය වැලක්වීමට ක්‍රමයකුත් නැහැ.

නමුත් නුතන විද්‍යාව මඟින් මේ ගැටලුවට ප්‍රතිකර්මයන් රැසක් සොයාගෙන තිබෙනවා.

උදා: මෙලනින් එන්නත් කිරීම, හිස කෙස් වර්ණ ගැන්වීම

පැසුණු හිස කෙස් වර්ණ ගැන්වීමේ පුරුද්ද ඉතිහාසයේ සිටම පැවත එන්නක්. ඊජිප්තිවරුන්, රෝම වැසියන්, සහ ග්‍රීක වරුන් අතීතයේදී ගව රුධිරය භාවිතා කරමින් හිස කෙස් වර්ණ ගැන්වූ බව පැවසෙනවා. ඒ වයස්ගත පෙනුම වසාලිම සඳහායි.

හිස කෙස් වැටි යාම

සාමාන්‍ය පුද්ගලයෙකුගේ හිස කෙස් වැටි යන්නේ ඔහුගේ හිස කෙස් වල චක්‍රය අවසන් වූ පසුවයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ සම්පුර්ණ කෙස් ප්‍රමාණයෙන් දිනකට වැටී යන්නේ සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක්. නමුතු කිසියම් රෝගයක් හෝ දුර්වල බවක් නිසා හිස කෙස් වේගයෙන් වැටීමත්, තට්ටය පෑදීමත් සිදු විය හැකියි. ඈත අතීතයේ තට්ටය පෑදීම වලක්වා ගැනීම සඳහා මිනිසුන් සිංහයන්ගේ, හිපපොටේමසයන්ගේ, කිඹුලන්ගේ, පූසන්ගේ, සර්පයන්ගේ හා පාත්තයන්ගේ තෙල් භාවිතා කර ඇති බව හෙළි වෙනවා. එයින් නිසි ප්‍රතිඵල ලැබුනාදැයි නොදන්නා නමුත්, අතීතයේ සිටම මිනිසුන් හිස කෙස් වැටීම පිළිබඳව සැලකිලිමත් වූ බව හෙළි වෙනවා.

SHARE