බ්ලීචින්ග් ක්‍රීම් භාවිතා කිරීමෙන් ඇති වන අහිතකර ප්‍රතිඵල

සු දු පැහැති සමක් ඇති කර ගැනීමේ උන්මාදයක් බිහි වීමේ ප්‍රතිඵලයක් ලෙස බ්ලීචින්ග් ක්‍රීම් කරලියට පැමිණිලා තියෙනවා. සම බ්ලීචින්ග් කිරීම කියන්නේ සම කෘතීමව සුදු කිරීමයි. ඒවායේ ඇති රසදිය, ඇල්ෆා හයිඩ්‍රොක්සි ඇසිඩ්, හයිඩ්‍රෝක්විනොන් වැනි රසායනිකයන් පහසුවෙන්ම සම සුදු පැහැ ගන්වනවා. නමුත් එයින් ඇති වන අහිතකර ප්‍රතිඵල ඉතා අධිකයි. එයට හේතුව වන්නේ මෙම රසායනික ද්‍රව්‍ය මිනිස් සිරුරට දැඩි ලෙස විෂ සහිත වීමයි. අහිතකර බව දැන දැනත් අපේ බහුතරයක් කාන්තාවන් බ්ලීචින්ග් අඩංගු ආලේපන ගැල්වීමට යොමු වීම නම් ඇත්තටම ඛේදවාචකයක්. ඉතින් අද අපි ඉදිරිපත් කරන්නේ මේ ගැන ලිපියකුයි.




මෙලනින් වර්ණකය මඟින් සැපයෙන ආරක්ෂාව අහිමි කර දැමීම සමේ වර්ණය තීරණය වන්නේ මෙලනින් වර්ණකය අනුවය. බ්ලීචින්ග් ක්‍රීම් මඟින් සමේ මෙලනින් වර්ණකය නිපදවීමට බාධා ඇති කර, මෙලනින් වර්ණකයේ සාන්ද්‍රණය අඩු කර දමනවා. එමඟින් සම සුදු පැහැ ගැන්වුනත්, අතුරු ප්‍රතිඵල රැසක් පැන නඟිනවා. හිරු එළියෙන් නිකුත් වන uv කිරණ වලින් ඔබේ සම ආරක්ෂා කිරීමට, බාහිර ලෙඩ රෝග වලින් ඔබේ සම ආරක්ෂා කිරමට මෙලනින් වර්ණකය උපකාරී වෙනවා. බ්ලීචින්ග් නිසා ඔබේ සමට මෙලනින් මඟින් සැපයෙන ආරක්ෂාව අහිමි වී පහසුවෙන්ම රෝගා බාධ වලට ගොදුරු වෙනවා. ස්වභාවික ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් සමේ පිළිකා ඇති වීමේ අවදානම ඉහල යනවා.

සමේ මාංශ පේශි වල සම්බන්ධක පටක වලට හානි ඇති කිරීම

බ්ලීචින්ග් අඩංගු ආලේපන දිගින් දිගටම ගල්වන විටදී ඒවා සම තුලට කෙමෙන් කෙමෙන් කා වදින්නට පටන් ගන්නවා. ඒවා ඔබේ මුහුණේ ඇති සියුම් මාංශ පේශි වල සම්බන්ධක පටක වලට දැඩි ලෙස හානි ඇති කරනවා. එහි ප්‍රතිඵල ලෙස සම ඉක්මනින් වියපත් වීම, සමේ පිළිකා ඇති වීම සිදු විය හැකියි.

සම දුර්වල වීම

බ්ලීචින්ග් අඩංගු ආලේපන දිගින් දිගටම ආලේප කිරීමෙන් සම දුර්වල වෙනවා. මුල් අවධියේදී සම සුදූ පැහැ වුවත්, පසු කාලීනව සමේ විවිධ විකෘතිතා ඇති වීමට හැකියි. එසේ වන්නේ සම තුලට ඇතුළු වූ රසායනිකයන් සම මඟින් ප්‍රතික්ෂේප කරන්නට පටන් ගන්නා විටයි. බ්ලීචින්ග් නිසා දුර්වල වූ සමේ යම් තුවාලයක් ඇති වූවොත්, මැහුම් දැමීමට පවා නොහැකි බව කියවෙනවා. ඇතැම් ආලේපන වල අඩංගු රසායනික ප්‍රමාණය අධිකයි. එය සමේ කැසීම්, රතු වීම් සහ විවිධ අසාත්මිකතා ඇති වීමටත් බලපානවා.

අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වලට හානි සිදු වීම

බ්ලීචින්ග් වල අඩංගු වන්නේ මිනිස් සිරුරට විෂ ගෙන දෙන රසායනික සංයෝගයන්. ඉතින් මෙම රසායනික සංයෝගයන් රුධිරයට එකතු වීමත් සමඟ අක්මාව, වකුගඩු හා මොළය වැනි අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ටත් හානි සිදු වෙනවා.  

මවගෙන් දරුවාට විෂ සම්ප්‍රේෂණය වීම

බ්ලීචින්ග් අඩංගු ආලේපන භාවිතා කරන ගැබිණි මවක් හරහා ඇගේ කුසේ සිටිනා දරුවාටත්, කිරි දෙන මවක් හරහා ඇගේ බිලිඳු දරුවාටත් මෙම අහිතකර රසායනිකයන් සම්ප්‍රේෂණය වෙනවා. බිලිඳු අවයව බෙහෙවින් මෘදු නිසා එය දරුවාට ඉතාමත් අහිතකර ලෙස බලපානවා.

වෙළඳ පොලේ දක්නට ලැබෙන සති දෙකෙන් හෝ සතියෙන් සුදු පැහැ සමක් හිමි කර දෙන බවට පොරොන්දු වන Skin whitening cream වල බොහෝ විට මෙම අහිතකර රසායනිකයන් අඩංගු විය හැක. මේ නිසා වෛද්‍ය උපදෙස් මත අහිතකර නොවන ක්‍රීම් වර්ග තෝරා ගැනීමට උනන්දු වන්න.

ඔබ මේ වන විටත් බ්ලීචින්ග් සහිත ආලේපන භාවිතා කරන කාන්තාවක් නම්, සම පිලිබඳ විසේසඥ වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ලබා ගන්න.      

 

SHARE