ඔබේ විවාහය අත ලඟද ? රූසපුව වඩවා ගැනීම වෙනුවෙන් ඔබ කළ යුත්තේ මොනවාද?

වි වාහය කියන්නේ යුවතියකගේ ජිවිතයේ සුන්දරම දිනය කියලා කිව්වොත් නිවැරදියි. මේ සවසේ ඇය සුන්දරව සිටිය යුතුයි. ඒ එය ඇගේ ජිවිතයේ වැදගත්ම දිනය වන නිසාත්, ජායාරූප හා වීඩියෝ හරහා එම දිනය දිගුකාලීන මතකයක් කර ගන්නා නිසාත්ය. බාහිර ආලේපන සහ බෙහෙත් මගින් ඔබේ රූපය වර්ධනය කර ගත හැකි වුවත්, ඔබේ ස්වභාවික සුන්දරත්වය රැක ගැනීමට ඔබ මුල සිටම උනන්දු විය යුතුයි. විවාහයට මාස හයක සිටවත් ඔබ ඔබේ රූපය ගැන උනන්දු වන්න. නිවැරදි හැසිරීමක් මඟින් ඔබේ රුව ඔප් නංවා ගන්න පුළුවන්. ඉතින් අද අපි තීරණය කළා beautysaloon.lk වෙබ් අඩවිය හරහා මේ ගැන ලිපියක් ඉදිරිපත් කරන්න.




කුරුලෑ, බිබිලි සහ කැළැල් සුව කර ගැනීම සඳහා

  • කුරුලෑ සහ ලප සුව කර ගැනීම සඳහා මාස 3-6කට පෙර සම පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු හමු වන්න.
  • හෝර්මෝන ගැටළුත් කුරුලෑ ඇති වීමට බලපානවා. හෝර්මෝන අසමතුලිතතාවයන් තිබේ නම්, ඒ සඳහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන බෙහෙත් නිසි පරිදි ලබා ගන්න.
  • මානසික පීඩනය අවම කර ගන්න. ඔබේ ළඟ එන විවාහය ගැනවත්, ඔබේ රැකියා ස්ථානයේ හෝ පවුලේ ගැටළු ගැනවත් අනවශ්‍ය බරක් සිතට ගන්න එපා. මානසික පීඩනය අඩු වූ විටත් කුරුලෑ සුව වෙනවා.
  • වැරදි ආහාර රටාවන් වලින් මේ කාලයේදී ඔබ ඈත් විය යුතුයි. තෙල් සහිත ආහාර සහ රසකාරක යොදන ක්ෂණික ආහාර වලින් ඈත් වෙන්න. එළවලු හා පලතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කරන්න. සැමන් හෝ සාර්ඩින් ආහාරයට ගන්න. විටමින් පෙති ශරීර ගත කරනවාට වඩා මේ ආහාර මඟින් ඔබේ සිරුරට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට උත්සාහ කරන්න.
  • මුහුණේ ඇති කැළැල් සුව කර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

කැළැල් සුව කර ගැනීම සඳහා ඇති වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම මෙතනින් 

සම පැහැපත් කර ගැනීම සඳහා

  • විවාහය ආසන්නයේ කිසිදු රූපලාවන්‍ය ක්‍රමයක් අලුතින් අත් හදා බැලීමට යන්න එපා. ඔබ ගල්වමින් සිටින ආලේපන එකවර මාරු කරන්න යන්න එපා. එවැනි ක්‍රියාවක් නිසා ඔබට අසාත්මිකතා ඇති වීමට ඉඩ තිබෙනවා.
  • ඔබේ රූපය ගැන සිතන්නට විවාහය ලං වන තුරු නොසිට, මුල සිටම ඒ ගැන උනන්දු වන්න. අව්වට නිරාවරණය නොවී සිටීමට උත්සාහ කරන්න. විවාහය අසන්න වූ විට ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් රසදිය හා රසායනිකයන් අඩංගු ප්‍රතිකර්ම සහ ආලේපන වලට යොමු වෙන්න එපා.
  • දිනකට ජලය පානය කරන ප්‍රමාණය ලීටර් 3ක් විය යුතුයි. උදැසන අවදි වූ විගස ජලය වීදුරුවක් පානය කරන්න.
  • බොහෝ මනමාලියන් කරන වරදක් තමයි විවාහය ලං වන විට, නිදි මරාගෙන ඒ සඳහා මහන්සි වීම. නිසි පරිදි නින්දක් නොලැබීම ඔබේ සමේ සහ ඇස් වල සුන්දරත්වය කෙමෙන් කෙමෙන් නැති කර දමනවා. එම නිසා ඔබ ඔබේ විවාහයේ වැඩ රාජකාරි වලට හෝ වෙනත් කරුණක් සඳහා නිදි මැරීමෙන් වලකින්න. දිනකට පැය 7- 8ක් අතර කාලයක් නිදා ගන්න. සිරුරට අවශ්‍ය පරිදි විවේකය ලබා දෙන්න.
  • ඔබ මින් පෙර මේකප් ගල්වා නොමැති නම්, මාස කීපයකට පෙර සම මත ගල්වා සමේ අසාත්මිකතා ඇති වෙනවාද යන්න පරික්ෂා කර බලන්න.  
  • දුම් පානය, මත්ද්‍රව්‍ය භාවිතය ඔබේ රූපයේ සුන්දරත්වය විනාශ කර දමනවා. එම නිසා,ඔබ සතුව එවැනි පුරුදු තිබේ නම් විවාහය ආසන්න වූ විට නවත්වා දමන්න.

 

 

SHARE